Thursday, September 9, 2021

සරසවි ප්‍රේමය....

හවස් වෙලා වෝල් එකේ එහා මෙහා යද්දි එක පාරටම ආපු මැසෙජ් එකකට ඉන්බොක්ස් එක බලද්දි මෙහෙම මැසෙජ් එකක් දැක්කා. ඔයා නිතරම අනිත් අය motivate වෙන කතා ලියන නිසා දවස් ගාණක් මම කල්පනා කරේ ඔයාට මේක කියන්න. කතාව අහනවදෝ නැද්දෝ කියලා හිත හිත හරි කියන්න මං අහන්නම් කියලා රිප්ලයි එකක් දැම්මා.

ඇගේ අවසරය ඇතුව ඇගේ කතාව ඇගේ වචනෙන්ම දාන්න හිතුණා. ආදරේ වෙනුවෙන් අඩන හැමෝටම එක උදව්වක් වෙයි.

මෙහෙමයි මේක ඇත්තටම ආදරෙන් පැරදීම ගැන experience එකක්😂 හැබැයි ඒ දේ වුණා කියලා  මම මැරෙන්න ගියේවත්, අතපය කපා කොටාගන්න ගියේවත් නෑ. දුකට ඇඬුවා. (ඇඬුවත් නෙවේ ඇඬුනා)

මම කැම්පස් ගිහින් මුල් 1st year එකේදි තමයි මුලින්ම love affair එකක් පටන් ගත්තේ. ඊට කලින් මට එහෙම  එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බේ නෑ මම හිතන්නේ😁 මොකද  මට තිබ්බා අමුතු මානසික රෝගයක් කැම්පස් ගිහින් කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනාවමයි marry කරන්නේ කියලා. ඒකට හේතුව විදිහට මම හිතන්නේ, මම තමයි මුළු හත්මුතු පරම්පරාවටම ඉන්න එකම ගෑනු ලමයා. ඒ නිසා නිතරම ගෙදරින් කිව්වා කැම්පස්  ගිහින්  ඔයා හොඳ කෙනෙක් හොයාගන්න, ඒ කෙනා ඔයාට  ආදරෙයිනම් මිල මුදල් කුල මල මොකුත් අපි හොයන්නේ නෑ අපට ඕනි අපි මැරෙන්න කලින් ඔයාට ජීවිතේ ඉතුරු ටික සතුටින් ඉන්න ඉඩ සලස්වන්න විතරයි කියලා.

ඉතින් දැන් මම 1st year එකේදි මුණ ගැහුණු කෙනෙක් එක්ක affair එකක් පටන් ගත්තා. ඇත්තටම මම එයාගෙන් බලාපොරොත්තු වුණේ මගෙ පවුලට ගැලපෙනවද කියන දේ. මොකද කලින් කිව්වා වගේ හත්මුතු පරම්පරාවටම ඉන්නේ දුවෙක්ට කියලා  මම විතරයි. එතකොට මම හිතන්නේ මගෙ වගකීමක් තියෙනවා  ඒ ගොල්ලෝ ගැන. විශේෂයෙන්ම මනුස්සකම තියෙන කෙනෙක් වෙන්න ඕනිනෙ.

ඉතින් මම එයාගෙ ගතිගුණ,පවුලේ විස්තර අපේ මිනිස්සුන්ගෙ තියෙනවානෙ marriage එකකදි කුලමල හොයන එක🙃 එකී මෙකී නොකී සේරම මඟුල් හොයලා බලලා ඔන්න දැන් සේරම ගැලපෙනවා කියලා මට ඒ කාලේ හිතුනා. ඉතින්  අපි ආදරේ කරා. කැම්පස් එකේ rag season එක ඉවර වෙලා social night එක දුන්නට පස්සේ අපි දෙන්නම අපි ගැන ගෙවල් වලට කියමු කියලා කතා වෙලා ඉස්සෙල්ලාම මම අපේ ගෙදරට කිව්වා. අපේ ගෙදරින් හොයලා බැලුවා එයා ගැන. මුලු හත්මුතු පරම්පරාවම කැමති වුණා.( *අතුරු* *කතාව* 👉🏻ඉන් පස්සේ මම කැම්පස් යද්දි වෙනදට මුලු හත්මුතු පරම්පරාවම මට අරන් යන්න දෙන කෑම පාර්සල් බිස්කට්, අනම් මනම් ලට්ට ලොට්ට ගාණ වැඩි වුණා. වෙන්න බෑණා වෙනුවෙනුත් ඒ ගොල්ලො ඒවා හදපු නිසා)

කොහොම හරි අපි ගොඩක් ආදරෙන් හිටියා. එයා නිතරම විශ්වාස කරා, මම තමයි එයාගේ ජීවිතෙ වාසනාව කියලා. එයා නිතරම අනිත් අය එක්ක කිව්වේ මම තරම් දක්ෂ කෙල්ලෙක් එයා දැකලා නෑ කියලා ( මගේ වාසනාවටද එහෙම  නැත්තම් කරුමෙටද දන් නෑ ඇත්තටම මට උයන පිහන, මහන ගොතන වගේ දේවල් සුපිරියටම පුලුවන් 😁 ඒක මේ ආඩම්බරකමට නෙවේ කියන්නේ හොඳේ) මම අඳින්නේ මම මහගන්න ඇඳුම්. ඉතින් මම ඒවා ඇඳගෙන එයා එක්ක යද්දි එයා පුදුම විදිහට ආඩම්බර වුණා. හරියට එයා මහපු එකක් වගේ🙊😍.

හැබැයි අපි දෙන්නගෙ සමහර ආස කරන දේවල් එකිනෙකට වෙනස්. ඒත් අතේ ඇඟිලි 5ම එක වගේ වෙන්නේ නෑනේ ඒ නිසා මම කරේ එයා කැමති දේ මං කැමති දේ කරගත්තා. එහෙම  කරේ අපේ අතර ගැටුම් අවම කරගන්න නෙවේ, ගැටුම් නැති කරන්න. ඇත්තටම අපි අතරේ කිසිම රණ්ඩුවක්වත්, argument එකක් වත් වුණේ නෑ අවුරුදු 2ක් විතර. කැම්පස් එකක් ඇතුළේ ඉද්දි ඉතින්  අපි ඕනි තරම් couple දකිනවනේ නේද? එතකොට  නානාප්‍රකාර විදිහේ couple දකිනවනේ.ඒ හැමෝම අතරේ අපි highlight වුණා. අපි ගොඩාක් සතුටින් හිටපු එක ඒකට හේතුව මම හිතන්නේ.

ඉතින් තවමත් මම බලන් ඉන්නවා අඩුම තරමේ " ඔයා ඉන්නවද? නැත්තම් කොරෝනා හැදිලා  මැරිලද? " කියලවත් අහනකම්... ඒත් ඒ ඉස්සර තිබ්බ ආදරේ ආයේ ඇති කරගන්න නෙවේ. මනුස්සයෙක්ගේ ජීවිතෙ ලස්සනම අවුරුදු 4 සරසවි කාලය. ඒක අවිවාදාත්මක දෙයක්. ඉතින්  මම ලස්සන සරසවි ආදරයක් වින්දා ඒ කාලෙ. ඒත් මට ඒ ආදරේ නිසා තවත් ලස්සන දේවල් මඟඇරුණා. මොකද මම ඒ ආදරේට ඇබ්බැහි වුණා. ඒක හරියට මනුස්සයෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවාටත් වඩා දරුණු ඇබ්බැහි වීමක්. ඒත් ඒ ඇබ්බැහියෙන් මම මිදුණේ ආදරය කියන වචනෙත් ජීවිතෙන් අයින් කරලා.

ජීවිතෙ ලස්සනම කාලේ ගෙවුණා වගේම මම ආදරය බැඳිම් කියන හැමදේම අත් හැරියා.

2 කොටස


හැබැයි අපි වෙන්වුණා කියලා , මෝඩයෝ වගේ දෙන්නට දෙන්නව block කරගෙන, facebook එකේ whatsapp එකේ දුක කිය කිය වැලලුනේ නෑ. අඩුම තරමේ තවම කවුරුත් දන්නේ නෑ අපි වෙන් වුණාද කියලවත්. ඇත්තටම මම දන්නෙත් නෑ අපි වෙන්වුණාද කියලා 😁එයා මට girl friend කෙනෙක් විදිහට කතා නොකරත්  එයා උදව්වක් ඕනි වුනොත් වෙන කාගෙ හරි number  එකකින් call එකක් දීලා කලාතුරකින්  කියනවා මට මෙහෙම  උදව්වක් ඕනි කරන්න පුලුවන්ද කියලා. ඉතින් මම කරලා දෙනවා. 


මේ හැම වෙලේම මගෙ හිත රිදුනා. එතකොට මම භාවනා කරා, දෙයක් අමතක කරන්න නම්,වෙනත් දේකට ඇබ්බැහි වෙන්න ඕනි කියනවනේ. ඉතින්  මම පොත් කියවන්න ඇබ්බැහි  වුණා. එතෙනදීත් මට එයාව මතක් වුණා. අපි දෙන්නා පොත් පිස්සො දෙන්නෙක්. එයා "ඇවිදින පුස්තකාලයක්". අපි ඉංග්‍රීසි සිංහල භේදයකින් තොරව අතට අහුවෙන හැම පොතක්ම කියවපු දෙන්නෙක්. ඊට පස්සෙ අර අත් අල්ලගෙන් ඇවිදපු  හැන්දෑවල් වල ඒ පොත් විචාරය කරා. ඉතින්  ඒවා සේරටම කාලය එක්ක මම හුරු වුණා. 


මොකද අපි දෙන්නට දෙන්නා ගැන වෛර කරන්න අපිට හේතුවක් නෑ කියලා මම හිතන්නේ. මනුස්සයෙක්ට අයිතියක් තියෙනවා තමන්ට ගැලපෙන්නේ නැති කෙනෙක්ගෙන් ඈත් වෙන්න. එයත් එහෙම කරා වෙන්න ඇති. ඉතින් අනිත් පාර්ශවය දැන ගන්න ඕනි මේක තමයි ලෝක ස්වභාවය කියලා තේරුම් ගන්න. මම දන්නේ නෑ මම හරිද වැරදිද කියලා. ඒත් හදවතින් නැතුව මොලෙන් කල්පනා කරලා බලද්දි  ඒක නේද ඇත්ත?


එයා අහිමි වුණා කියලා, මට නොකා නොබී ඉන්න බෑ. ලස්සනට අඳින්නේ නැතුව ඉන්න බෑ.මොකද මගෙ දෙමව්පියෝ ගැන හැඟීමක් මට තියෙනවා. අපි කාලයක් ආදරේ කරා, ඒක ගොඩක් ලස්සනයි. ඉතින්  ඒක සතුටින්  මතක් කරන්න ලැබෙන එකත් වටිනවනෙ. 


හැබැයි  එයාගෙ ඒ ආදරෙ නිසා මට ජීවිතෙ ලස්සන දේවල් ලැබුණා. අපි හැමදාම weekend එකේ වේදිකා නාට්‍යය බලන්න ගියා. මනමේ ,සිංහබාහු  වලින් පටන් අරන් ජයලත් මනෝරත්න සර්ගෙ නාට්‍යය දක්වා හැම එකක්ම අපි බැලුවා. මම ඒවට ඇබ්බැහි  වුණේ එයා ඒවට ගොඩක් ආස නිසා. ඉතින්  ඒක වටිනවනෙ. ඇත්තටම  මගෙ ප්‍රථම  ආදරය නිසා මට මේ තරුණ වයසෙදිම ආදරය බැඳීම් කියන දේ තිත්ත වුණා. ඒත් ඒකෙ වරදක් අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ😆


සමහර විට අපි බැන්දනම් මමත් සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න ඉඩ තිබ්බා. ගෙදර  වැඩ ටික කරලා husband සහ දරුවො මත්තේ මැරෙන ගෑනියෙක් වෙන්න ඉඩ තිබ්බා. ඒත් අපි දැන් කල්පනා කරද්දී, ලංකාවෙ ගෑනු අය ජීවිතෙ අවුරුදු 30 න් පස්සේ  මැරෙන තුරාම තමන්ගෙ සතුට උකස් කරනවා. කොච්චර හොඳට ඉගෙන ගත්තත්, මොන ලොක්කියක් වුණත් අපි කුස්සියට හිර වෙනවා. ලංකාවෙ සමාජය හැදිලා තියෙන්නෙ කුස්සිය අයිති ගෑනු අයට කියලා. අපිට කොහේ හරි යන්න බෑ, ඇයි???  Husband ට උයන්න ඕනි. කොහෙවත් ගියොත් එයාගෙ වැඩ කරන්නේ කවුද ? ලමයි තනියම දාලා යන්නේ කොහොමද ? වියදම් වැඩියි.


මට වෙන රටකට යන්න ඕනි. ඉස්සර කෙල්ල කාලේ හිටියා වගේ අයිස්ක්‍රීම් එකක් ,කඩල ගොටුවක් කකා ඇවිදින්න ඕනි. fashion කරන්න ඕනි. ඒත් ලමයි?? Husband ??


පුතෙක්ට තේ එකක් හදාගන්ට පුරුදු කරන්න අම්මලා ලැජ්ජයි. ඒවා ගෑනු වැඩ කියලා. අන්තිමට මේ රටේ ගෑනු කුස්සි අම්මලා😆 


ඇගේ කතාව ඇගේ විදියට❤️❤️ 



ආදරේ  නිසා අඩන හැම ගෑණු ළමයෙක්ටම ආදර්ශයක් වෙයි කියලා හිතනවා. ජිවිතේ තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන එක ආත්මථකාමිකමක් නෙවේ. නොගැළපෙන තැනදි අතාරින එක වැරද්ද නෙවේ. ඉතින් ඔබේ සියළු බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

No comments:

Post a Comment

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...